බලා උන්නෙමි
පහන් ටැඹ වී
ගමන් මග රුදුරූ
අඳුර නිවමින්
සතර මං රැක
පෙනෙන තෙක්
ඔබෙ රූ
එළිය නැති වී
පාර වැරදී
පැතුම් බර උසුලා
වෙහෙස වූ ඔබ
දිනෙක දුටුවෙමි
කඳුළු පට පිසලා
සතර මං තල
පහන් ටැඹ ළඟ
හිත ගරාවැටිලා
සොයන මග වෙත
එළිය දෙන ලෙස
ඔබ හඬා වැටුණා
තවත් මගියෙකු
සමඟ දැවටී
නොපෙනි ඔබ
ගිය දා
පහන් ටැඹ වී
බලා උන්නෙමි
අඳුරු බර උසුලා
බලා උන්නෙමි
පහන් ටැඹ වී
ගමන් මග රුදුරූ
අඳුර නිවමින්
සතර මං රැක
පෙනෙන තෙක්
ඔබෙ රූ