පළමුව මම වැන්ද බුදුන්
සිහි කරගෙන ඒ ගුණ කඳ
දෙවනුව සද්ධර්මෙ උතුම්
මුදුනත් කර මෙන්න වැන්දා
තෙවනුව මහ සංඝරත්නෙ
වැඳ සුරන් ට පින් දී සොඳ
කියනවා අපි නෙයිනගෙ සූදුව
කවියෙන් කර ප්රබන්ධ
සිරින් සපිරි අපෙ ලක්දිව
අසුවුනි ඉංග්රිස් රජුන් ට
කෙලින් ඉන්ට නොදී අපට
බලේ ගත්තා ඔවුන් අතට
පිටින් ආපු හම්බ හෙට්ටි
හැත්ත පිරුණ කොළොං පුර ට
ඔවුන් අතර හිටිය නෙයිනා
තම්බි කියලා කෙනෙක් ජයට
සොඳින් මසන් ගස් හන්දියෙ
නෙයිනා උන්නු ගෙයි විස්තර
නගින්ඩ එහි තට්ටු හතයි
යටටත් ඒ තරම් විතර
තදින් ම සූදුව එතනයි
නිලධාරින් ඇවිත් නිතර
පනින්ඩ බෑ අල්ලන්නට
ආණ්ඩුවත් බයයි මිතුර
මෙකලා වීරයෙක් උන්නා
කොතලාවල කියලා සොඳට
හිතලා වැඩ කරන එතුමා
ජෝන් නමින් පුරසිද්දෙට
ලැබිලා ගුරු තනතුරකුත්
පසුව ගියා රේල්ලුවට
එකලා ඔහු කළ දස්කං
කියනවා මං පෙළින් පෙළට
අල්ලස් දී පොලීසියට
කොස් ගස් හංදියේ ජයට
නෙයින තම්බි සූදු කෙලියා
කාටත් බෑ අල්ලන්නට
ආණ්ඩුවත් සතුටු වෙලා
රජෙක් වගේ උන්නු මැතිට
සාජන් මේජර් කෙරුවා
කොටහේනේ පොලීසියට
එක්ක ගොසින් පොලිස් භටයො
දොළොස් දෙනෙක් මරදානට
ඉක්මන් කර කම්බා සරොං
පට ලේන්සු දී අඳින්ට
සල්ලි දීලා ඔවුන් අතට
යන්ට කිව්වා සූදු පොළට
ඊට පස්සෙ සිද්ධ වෙච්ච
දේ පුදුමයි අහං ඉන්ට
ඇඳගෙන සුදු වේට්ටියක්
ජටාවකුත් බැඳ හිස වට
ගා ගෙන තුන්නූරු ටිකක්
දෙමළ හෙට්ටියෙක් විලසට
අරගත්තා බෑග් එකක්
නෝට්ටු කොළ දැම්මා ඊට
නැගගත්තා රික්ෂෝවක
අපෙ මැතිඳා යයි විගහට
දකිමින් මේ හෙට්ටි අයියා
නෙයින සලං දැම්මා හොඳට
එන්න කාරියම් වන්දදු
සංගදි සොල්ලුම් බෝමට
නවවන්දදු විලයාට්ටු
තුපන්කාර ඔන්ඩ කිට්ට
ඔන්න ඉතිං වාවා කියලා
එක්ක ගියා ගේ ඇතුලට
තට්ටු හතක් නැග්ග කලට
නෙයිනගෙ ඒ සූදු පොළට
ගොනෙක් වගේ එළුවෙක් විත්
පැන්නයි මැතිඳුට අනින්ට
වා සෙන් කිව්වා නෙයිනා
එළුවා ගියා දුන්නු අණට
දැනගෙන මේ රහස් සියළු
මැතිඳා යයි ඔට්ටු පොළට
බලන්න පුදුමයි මහතුනි
නෙයිනගෙ ඒ සූදු පිටිය
එතන්ට චන්ඩියා තමයි
සේදවත්තෙ ජෝං ගොයියා
දිනන්ට අත ගත්තු ගමන්
මැතිඳුට ඔහු ඔරවා හිටියා
කොහෙං ආපු දෙමළෙක් දැයි
කියල ජෝං නැගිට සිටියා
කුට්ටම හා සල්ලි මුදල්
අරගෙන මැතිඳා එම විට
ඇතුන් මැදට වන් කෙසරෙක්
සිංහ නාද කරන ලෙසට
දැනගල්ලා මෙතන ඉන්නෙ
කොතලාවල කිව්ව කලට
තනියෙන්මයි අල්ලගත්තෙ
විස්සක් අත්අඩංගුවට
පැන්න කලට චණ්ඩි ජෝං
පිහියක් අරගෙන අනින්ට
දුන්නා මැතිඳා පයින් එකක්
බිව් රං කිරි කටින් එන්ට
ඉන්න හිටින්ටත් බැරිවුණි
මළ මුත්තර පිටවු කලට
ඔන්න එවිට ආවා එළුවා
පැනගෙන මැතිඳුට අනින්ට
කාගෙන් බේරුණත් බැරිය
එළුවාගෙන් මාරුවෙන්ට
වේගෙන් පැන්නා මැතිඳා
ඒ වුනාට ඉදිරිපිටට
උඹ ද මිතුරෙ හතර ගාතෙ
චණ්ඩියා කියමින් මෙතෙන්ට
දුන්නා වම් පයින් එකක්
පස්ස ගාතෙ කැඩිලා යන්ට
ඉතිං අම්මෙ ඉඳලා මොටද
කියලා නෙයිනා පැන විජහට
අතිං පයින් නෙමෙයි ඔන්න
කානු හතයි පිස්තෝලෙට
ගනිං මේක කිව්ව නමුත්
පත්තු නොවුනි මැතිඳු පිනට
මුනින් වැටුනි නෙයින තම්බි
මැතිඳා දුන්න මරු පහරට
නෙයිනට රුපියල් දාහයි
දහය බැගින් අනිත් අයට
ගෙව්වයි දඩ බොහෝ දෙනෙක්
බැරි වුනි තව හත් දෙනෙකුට
හැත්තෑවක් ගෙවලා මැතිඳා
ගත්තා ඔවුන් හැම එළියට
ඇත්තයි අපි මල් පුදන්ට
ඕන ඔහොම වීරයන් ට
එක්ක ඇවිත් ඒ හත්දෙන
කෙහෙල් වත්තෙ පිට්ටනියට
පියෙක් ලෙසට ඔවදන් දී
දුසිරිතයෙන් වලකින්නට
දෙකක් පාර බැගින් දුන්නෙ
මිතුරනි එය මතක් වෙන්ට
කොතෙක් රිදුන නමුත් ඔවුන්
මැතිඳුට වැඳ ගියයි යන්ට
එතුමා කළ දස්කම් නං
එක කටකට බැහැ කියන්ට
හැමදාමත් මතක් වෙන්ට
ඉතිහාසෙත් තියෙයි සොඳට
හිටියානං අද වෙනතුරු
රජ කරනවා ලංකාවට
එතුමා සුරපුර වැඩියේ
අපේ තියෙන අහේතුවට